Thursday, May 24, 2012

භාෂාව වැරදිච්ච


අවුරුදු දහයකට විතර කලින් අපේ ගෙදර හිටියා පොමනේරියන් බල්ලෙක්. උගේ නම ස්නෝවි. ඌ හරිම ලස්සන කහපාට ලයන් පොමනේරියන් කෙනෙක්. ගෙදරට එන ඕන කෙනෙක්ගේ ඇඟට පනින එක තමයි උගේ වැඩේ. එක්කෙනෙක් දෙන්නෙක්ව හපලත් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට අපි ඌව දාල තිබුනෙ කූඩුවක. ඌ එලියෙ ඉන්න වෙලාවක "ස්නෝවි දුවපන් කූඩුවට" කියපු ගමන් ආයි කිසි කතාවක් නෑ ඌ කෙලින්ම නවතින්නෙ කූඩුවේ. හරි කීකරු බල්ලා. මේ සිද්ධිය උනේ අපේ දුව ඉපදිච්ච දවස්වල. මම එතකොට වැඩ කලේ මම අර ලියපු භාෂාව වැරදිච්ච බොස් හිටපු කොම්පඤ්ඤ වීදියේ තිබුනු කම්පැනි එකේ. මගේ බොස්ගෙත් බොස්ගෙ නම තමයි 'රීස්වි'. එයා ඉතින් හරිම භක්තිවන්ත මුස්ලිම් ජාතිකයෙක්. ඉතින් ඔන්න මගේ දුව ඉපදුනා කියල ආරංචි උනහම රිස්වි කිව්වා දුවව බලන්න එයා අපේ ගෙදර එනවා කියලා. ඉතින් මමත් දවසක් සෙට් කරගෙන රිස්විට අපේ ගෙදර ඩිනර් එකට එන්න කියල ඉන්විටේෂන් පාරක් දුන්නා. ඉතින් රිස්වි කියන්නෙ මගේ බොස්ගෙත් බොස් නිසා හොඳට සලකන්නත් ඕනෙනෙ. මොකද සැලරි ඉන්ක්‍රිමන්ට්ස්, ප්‍රමෝශන්ස් ඒව මේව ඔක්කොම ඉතින් තියෙන්නෙ පොරගෙ අතේ තමයි. ඉතින් ගම හාමිනෙයි අපේ අම්මයි එකතු වෙලා වැඩ කිඩ දාල හොඳ කෑමක් හැදුවා රිස්විට දෙන්න. දැන් ඉතින් ඔක්කොම උපරිමයෙන්ම සෙට්. ඔන්න රිස්විත් ගේ ගාවට ඇවිල්ල මට කෝල් එකක් දුන්නහම මමත් ගිහිල්ල ගේට්ටුව ඇරියා කාර් එක වත්ත ඇතුලට ගන්න. රිස්වි කාර් එක නවත්වල බහිනකොටම මෙන්න බොලේ ස්නෝවියා කොහෙද ඉඳන් හුරේ රන් එකක් දීගෙන එනව රිස්විගෙ ඇඟට පනින්න. දැන් ඇඟට පැන්නොත් වෙන්නෙ එකම ජංජාලයයි මොකද ඔය ගොඩක් මුස්ලිම් ජාතිකයො බල්ලො ඇඟේ ගෑවෙනවට කැමති නෑනෙ. ඉතින් කලබල වෙච්ච පාර මම කෑගැහුවෙ,

"රිස්වි දුවපන් කූඩුවට" කියල. 

මගේ කරුමේ කියන්නෙ බල්ලත් කෙලින්ම ගිහින් නැවතුනේ කූඩුවේ. ඉතුරු ටික මගෙන් අහන්න එපා.
---------------------------------------------------------------------------------------------------------------------------------
මේ කතාව මට කිව්වෙ අපේ පෙරකදෝරු නෑනා. ඒ කියන්නෙ අපේ ගම හාමිනේගෙ බාල මල්ලිගෙ නෝනා. මේක වෙලා තියෙන්නෙ ඒ නෑනගෙ යාළුවෙක්ට. මේගොල්ලන්ගෙ ගෙදරත් ඉඳල තියෙනවා අර පොඩි කාලෙදිම වලිගෙ කපන්න ඕනෙ ජාතියේ බලු පැටව් දෙන්නෙක්. ඉතින් මෙයා බලු දොස්තර ක්ලිනික් එකට කෝල් කරල තියෙනව මේකට අපොයින්මන්ට් එකක් ගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි කතාව වෙලා තියෙන්නෙ,

නෑනගෙ යාළුවා : "හලෝ, බලු දොස්තර ක්ලිනික් එකද ?"
ක්ලිනික් එකෙන් : "ඔව් මැඩම් . . . "
නෑනගෙ යාළුවා : "මට වලිග කපන්න අපොයින්ට්මන්ට් එකක් ගන්න පුළුවන්ද ?"
ක්ලිනික් එකෙන් : "පුළුවන් මැඩම් . . අද හවස හතරට කලින් එක්කන් එන්න "
නෑනගෙ යාළුවා : "හතරට කලින්නම් බෑ . . මගෙ හස්බන්ඩ් එනකොට පහ විතර වෙනවා . ."
ක්ලිනික් එකෙන් : "අනේ සොරි මැඩම්. අපි වලිග කපන්නෙ බල්ලන්ගෙ විතරයි . ."

ඉතින් තාමත් ඒ බලු පැටව් දෙන්නගෙ වලිග කපල නැහැ කියල තමයි ආරංචිය.
---------------------------------------------------------------------------------------------------------------------------------
අපි මේ ඊයෙ පෙරේදා ගියා දඹානෙ වැද්දො බලන්න කියල. අර ටැබූ කියල තිබුන විදිහටම එතන මාර බිස්නස් තමයි වෙන්නෙ. පොඩි වැදි පැටව් ලඟට ඇවිල්ල කියනව "මේ හූරො හූරො . . කීයක් හරි දියන්කො බං" කියල හොඳ අමු සිංහලෙන්. ඉතින් ඔය ගමනට ගියා මගෙ යාළුවෙකුත් 'දොන්' කියල. (ඌට දොන් කියන්නෙ ඌ පාතාලේ හින්ද නෙමෙයි ඕං ) ඔන්න එක පාරටම කොහෙද ඉඳල ආපු නාකි වැද්දෙක් "උත්තිල ඇත්තෝ, උත්තිල ඇත්තෝ" කියල දොන් හිටපු දිහාවට අත දික්කරලා කතා කරලා. ඉතින් දොනුත් වැද්දා ලඟට ගිහිල්ලා කීයක්ද අත මිට මොලවලා ඇවිල්ලා. ටික වෙලාවකට පස්සෙ තමයි අපි දැන ගත්තෙ වැදි භාෂාවෙන් "උත්තිල ඇත්තො" කියල කියන්නෙ බල්ලට කියලා.
---------------------------------------------------------------------------------------------------------------------------------
මගේ ඉස්කෝලේ යාළුවෙක් හිටියා දමින්ද කියලා. ඒ ගොල්ලන්ගෙ ආච්චිල හිටියේ ඔය කළුතර පැත්තෙ. දන්නවනෙ ඒ පැත්තෙ අර කිතුල් රා, පොල් රා එහෙම මදින එක ගජරාමෙටම සිද්ද වෙනවා කියලා. ඉතින් ඔය පැත්තෙ රා මදින අය මුට්ටිය තෙලිජ්ජෙන් පිරුනට පස්සෙ ඒක ගහෙන් බාල ගහ මුල තියල තියෙනවලු හබරළ කොලේකින් එහෙම වහල ටිකක් පැහෙනකං කියල. ඉතින් ඒ ආච්චිලාගේ ගෙදර හිටියලු බල්ලෙක්. ඌ කොහොම හරි මේ මුට්ටි හොයාගෙන ගිහිල්ල හබරළ කොලේ ඉරල තෙලිජ්ජ බීල එනවලු. කන පැලෙන්න තෙලිජ්ජ බීල එන බල්ල ඊට පස්සෙ දිවත් එලියේ දාගෙන මුළු දවස තිස්සෙම බුදිලු. ආයි ඇහිරිච්ච ගමන් දුවන්නෙත් තෙලිජ්ජ බොන්නලු. ඌ කොහෙන් හරි මුට්ටියක් හොයා ගෙන හැමදාම තෙලිජ්ජ ගහනවලු. ඉතින් ආච්චි ගෙ වැඩේ මේ බල්ලට බනින එකලු. 

"නොදකින් මේ බේබදු බල්ල අදත් කණමදය වගේ බීගෙන ඇවිල්ල දවස තිස්සෙම බුදිනේ" කියලා.

කරුමේ කියන්නෙ අහල පහල එවුන් හිතන්නෙ ආච්චි මේ හැමදාම බනින්නෙ සීයට කියලලු.

No comments:

Post a Comment